සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ සෙංකොට්ටං නවකතාව පිළිබද විමසා බැලීමේදී සෙංකොට්ටං නවකතාව රසවත් හා අව්‍යාජ නවකතාවකි. වර්තමානයේ විද්‍යාවේ දියුණුව විවෘත ආර්ථිකයත් සමග අපගේ ජීවිත හා ජීවත්වීමේ රටා කොපමණ සංකීරණ කර තිබේද එහි ප්‍රතිඵලයක් ලෙස අප අසතුටෙන් ජීවත් වීමත් සමහරුන් එම අසතුට සතුට කියා සිතාගෙන සිටිති. බොහෝ දෙනෙකු මෙය තේරුම් ගැනීමට නොහැකි තරම් අන්ධව සිටිති. අතීතයේ දී ලංකාවේ පැවතියා වූ කුල බේදය කේන්ද්‍ර කරගෙන මෙම කෘතිය රචනා වුවද මෙය හුදු කුල බේදය පමණක්ම විවරණය කරන ග්‍රන්තයක් සේ සැලකීම මෙම ග්‍රන්ථයට කරන අසාධාරණයක් යැයි මාගේ මතයයි.
අතීතයේ දී ලංකාවේ පැවතියා වූ කුලභේදය කේන්ද්‍ර කර ගෙන මෙම කෘතිය රචනා වූවද මෙය හුදු කුල භේදය ගැන පමණක් ම විවරණය කරන ග්‍රන්ථයක් සේ සැලකීම මෙකී ග්‍රන්ථයට කරන අසාධාරණයකි, එය මෙකී ග්‍රන්ථයේ අගය, වටිනාකම ලඝු කොට තැකීමකි. එනම් මෙකී ග්‍රන්ථය තුළ ස්ත්‍රීත්වය පිළිබඳව ද සර්වත්‍රික සදූපදේශයන් අන්තර්ගත වී ඇත. ඒ සඳහා කතුවරයා ප්‍රධාන වශයෙන් ම විශේෂයෙන් ම උපයෝගී කර ගෙන ඇත්තේ පොඩිනා සහ හීං රිදී යන චරිත දෙකයි. ඒ චරිත ඇසුරින් ස්ත්‍රීත්වය පිළිබඳ ව සංනිදර්ශනය කිරීම මෙහි අරමුණයි.
හිරිමල් තාරුණ්‍යයේ හැඟීම් දැනීම්වල වහලෙක් බවට පත් වූ පොඩිනා අවසානයේ දී ඒ හේතුවෙන් දුකට, ශෝකයට පත් වූවා ය. නිවැරදි ව ස්ථිර ව නොදන්නා නන්නාඳුනයෙක්ට තම මල්පෙතිවල රොන් උරා විනාශ කර දැමීමට ස්වේච්ඡාවෙන් ම ඉඩ ප්‍රස්තාව ලබා දීමට තරම් ඇය අදූරදර්ශී වූවා ය. අනික් අතට අනේකවිධ පාටවල්වලින්, සුවඳවල්වලින් යුතු මල් විසින් බඹරුන් පසුපස හඹා ගෙන නොගියත් අවසානයේ දී නින්දා අපහාස යනාදිය ලබන්නේ මල් කුලය ම බව (බඹර කුලය නොවේ) යන ඒ පරම සත්‍යය ඈ නොදැන සිටියා ය, ඇය එය අවබෝධ කර නොගත්තා ය.
“ඔහු වරක් ඇගේ කම්මුල සිම්බේ ය. අනාගතය කෙබඳු වේ දැ යි ඇයට නොසිතෙයි”.
“ඉන්පසු ඔහු මුහුණ තව වරක් සිඹින කල ඈ තම මුහුණ මඳක් හරහා ඔහුට තව පහසුකම් සැලසුවා ය”.
“ඒත් ඒක මගෙත් කැමැත්තෙන් උණු දෙයක්. උන්නැහේගෙ මූණ දැක්කම මට බෑ කියන්න බැරි වුණා”.
“උන්දෑ කිව්වෙ පුළුවං තරං බවලත්තු ගැවසෙන තැන්වල ම ඉන්න කියල. මඟුලක් හිංදා රා බී ගත්ත මිනිස්සු එයි කිව්වා. නින්ද ගියත් විමසිල්ලෙන් ඉන්නය කිව්වා”.
“තම ජීවිතයේ වැදගත් ම සිදු වීමෙන් පසු ඇයගේ මේ තොරතෝචියක් නැති කියවිල්ල තරුණයා අසා සිටයේ නැත”.
“ඇයට බොහෝ දේ කල්පනා වේ. තම ජීවිතය පිළිබඳ ඇත්තේ අප්‍රමාණ කලකිරීමකි”.
කෙසේ වෙතත් විපතට, කරදරයකට පත් වූ විට බොහෝ මනුෂ්‍යයන්ට සැබෑ තත්ත්වයන් වැටහී යාම මේ ලෝකයේ සාමාන්‍ය සංසිද්ධියකි. එකී සංසිද්ධිය පොඩිනාට වූවද පොදු ය. තමා වැටුණ වලේ තම බාල නැගණිය වූ හීං රිදී ව නොවට්ටවා, ඇය ව ඉන් බේරා ගැනීමට පොඩිනා නොගත් උත්සහයක් නොමැති තරම් ය. ඒත් ඇගේ එම උත්සහයන් සියල්ලන් ම ගඟට ඉනි කැපුවා සේ නිශ්ඵල විය.
“මුලිං හිනස්සල තමයි ඊළඟට අඬවන්නෙ. පල ගෙදර පලයං කිව්වම”
“අමාරුවෙ වැටිච්ච දාක තේරෙයි ඔය රෑ තිස්සෙ ආපු මනමාල මිනිහවරු කව්ද කියල. ඇයි ඉතිං උකුලට එකෙක් දීල ගියා ම මෙතන ඉන්නව නේ නළවන්න පිරිවර. පල ගෙට...”.
මෙහිලා තම නැගණිය වූ හීං රිදීට සාපේක්ෂ ව ජීවිත පරිඥාණයෙන් (අත්දැකීමෙන් ලබන නුවණින්) වැඩි වූ ඇය හීං රිදී ව වලෙන් ගොඩ ගැනීමට ගත් (ඉහත ඡේදයේ සඳහන් කෙරූ පරිදි) සියළුම උත්සහයන් අසාර්ථක විය. මෙහිදී පොඩිනා ඒ ගැටළුව, ඒ ප්‍රශ්නය සහ එයින් ඇති විය හැකි අහිතකර ප්‍රතිථල පිළිබඳ ව හීං රිදීව දැනුවත් කර තිබුණත් ඒ දැනුවත් කිරීම ප්‍රමාණාත්මක නොවන බව මාගේ හැඟීමයි. එනම් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක අයුරින් ඇයට විස්තර කොට ඒ පිළිබඳ ව පෙන්වා නොදීමයි. එයට දෙස් දෙන එක සිදුවීමක් වන්නේ දවසක් දා රාත්‍රියේදී හීං රිදී පොඩිනා ව සැක කිරීම සහ ඒ සම්බන්ධයෙන් පොඩිනා ව වරදවා වටහා ගැනීමට ඇය පෙළඹීමයි. ඇය එලෙස පෙළඹුණේ යකේත ව සඳහන් කළ පරිදි එකී දැනුවත් කිරීම ප්‍රමාණාත්මක නොවූ නිසා විය හැකි ය.
“අක්කට පිස්සු.ඒකි ඉරිසියාවේ පැළෙනවා....”
“අක්කට එසේ වීමට හේතුවක් වේ නම් ඒ හේතුව මෙයට මාස කීපයකට උඩදී තමා දුටු ඒ අමුතු සිදුවීම විය යුතු බව ඈ සිතුවා ය”.
කෙසේ වෙතත් සිය අම්මාගේ අවවාදය නොතැකූ පොඩිනාට පමණක් නොව සිය අම්මාගේ, සිය ලොකු අම්මාගේ, සිය අක්කාගේ, ගුණ රාලහාමිගේ අවවාද-උපදෙස් අලුයම හෙලූ කෙළ පිඬුවක් සේ බැහැර කළ, ඔවුන්ගේ අවවාද-උපදෙස් හමුවේ බීරි අලියෙකු සේ ක්‍රියා කළ හීං රිදීගේ විවාහ ජීවිතය ද අශ්‍රැනිම්නයක් (දුක්බර ලෝකයක්) බවට නිරායාසයෙන් ම පත් විය.
“අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත,අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි,පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියල”.
“තොට එදා අම්මයි,මායි,රම්බරී ලොකු අම්මයි මොන තරං දැනමුතුකම් දුන්නද බොල? තෝ ඒ එකක් වත් තඹේකට මායිං කළා ද?”
“මෝඩකමට-හදිස්සි තීරණේට දුර දිග නොබලා එහෙම ගියා කියමු.අන්න විනාසෙ මුල. චෑස් චෑස් ගාන පොඩි උං රොත්තක් ඉහිං කනිං එල්ලගෙන බැළලියක් වාගේ එහෙ-මෙහෙ දුවනවා ඇරෙන්න ආයේ ජීවිතේ ගැන එතනිං එහාට වෙන මුකුත් හිතන්න හෙම ලැබෙන්නෑ. ඒත් ඒ වගේ ද නියම කල උදා වෙලා, මහ උංගෙ අනුදැනුම පිට ඒ කාරණා කටයුතු සිද්ධ වුණා ම තියෙන සන්තෝසෙ?”
“...ගෙදර ගිය විගස තමාට බබානිස්ගෙන් බැණුම් අසන්නට-ගුටි කන්නට සිදු වන බව ඈ දැන උන්නා ය”.
“මොක ද මගේ රත්තරනේ,උඹට මේ වුණේ.ඔහොම අප්පිරිය හිතෙන දේවල් දකින්න හොඳ ද උඹ මෙහෙම ඉන්දැද්දි”.
“මට අයෙ ඒ අපායට යන්න බෑ අම්මේ, මාව ගෙදර තියාගනිං මගෙ අම්මා”.
“ඒ ජරාව කවලං වෙච්චි බත් කන්න බැරි කමට මං වරු කීයක් නං බඩගින්නේ ඉඳල තියනව ද?”
මීට අමතර ව පොඩිනා ගෙදරට මුසාබස් තෙපලා, තම නිවැසියන්ට සත්‍යය වසං කොට අනගිහාමි සමඟ කාලය ගත කිරීමේ අරමුණ ඇති ව (නොදැනුවත් ව වූවද) ඈ ගියේ ඇගේ මාරයා වෙතට ය. මෙහිලා කාමයෙන්, රාගයෙන් මංමුලාවට, අන්ධබාවයට පත් වූ ඒ දෑස් සත්‍යය වටහා ගත්තද එවිට ඇය ප්‍රමාද වැඩි ය.
“හැට්ට දෙකක් මස්සාගෙන ඒමට මල්වත්තේ මහන ගෙදරට යන බව ඈ පවසා.......ඔි ගෙදරින් පිට වූවා ය”.
“තොට උවමනා දේ ඇති පදං දීපිය කියලයි අනගිහාමි උන්නැහේ මාව එව්වෙ. දැං මං තනන්නෙ තොගේ ඒ රුදාව අරින්න...”
“පොඩිනාට යමක් කීමට තරම් ශක්තියක් නැත. ඔි ඉතා අපහසුවෙන් දෑත් එකතු කොට කැලෑ සතාට වැන්දා ය”.
කෙසේ හෝ වේවා අවසානයේ දී හීං රිදීට ද තමා කළා වූ වැරැද්ද අවබෝධ විය. සිය අක්කා වූ පොඩිනා තමන්ට සැර-වැර කිරීමට බලපෑ සත්‍යය හේතුව කුමක්ද කියා ප්‍රමාද වී හෝ ඇයට ප්‍රත්‍යක්ෂ විය.
“...අක්කා තමාට කී කරුණු හුදෙක් ඉරිසියාව මුල් කරගෙන කියූ ඒවා නොව, ජීවිතය පිළිබඳ මහත් ඥාණයෙන් යුතු ව කී ඒවා බව පසක් විය. එනමුත් ඒ වන විට තමා බොහෝ ප්‍රමාද වී ඇති බව හීං රිදීට කල්පනා විය. ඇය යක්සනියක සේ සැර-වැර වී තමාට පෙන්වා දුන්නේ ප්‍රේමයට මුවා වී පිහිටා ඇති ආශාව මුල් කොට ගත් නොඉවසිලිමත් ක්‍රියාදමයේ ඇති තාවකාලික බව නො වේ ද යන්න හීං රිදී දිගට ම මෙනෙහි කළා ය”.
මීට අමතර ව පොඩිනා සහ අනගිහාමි යන දෙදෙනාගේ ආලය, රාගය නම් වූ ඒ උල්පත් දෙතනක පුපුරා මහ ගංඟාවක් සේ උතුරා යද්දී සැදුණා වූ වික්ටර් සූරතිස්සයන් (බබා හේනයා) විසින් කෙරූ ආත්ම භාෂණයක් පහත දැක්වේ.
“ඔහු එය දෝතට ගෙන වරක් සිම්බේ ය. ඒ තමා ගෙදරින් එන විට ගෙන ආ එක ම සිහිවටනය වූ තම මව්ගෙ හැට්ටයයි. අදටත් එහි ඇති සුපුරුදු සුවඳ වසර හැත්තෑවක පමණ දීර්ඝ කාලාන්තරයක් එක සුසුමකට සීමා කිරීමට සමත්කම් දක්වයි”.
ඒ තුළින් ඔප්පු වන්නේ පොඩිනා තුළ තිබූ ඒ උතුම් මාතෘත්වයයි, ඇය ගුණවත් මවක් වූ බවයි. ඒ පිළිබඳ ව තවදුරටත් පැහැදිලි කෙරුවහොත් සිය මව්ගෙ හැට්ටය තුළින් ඔහුට වහනය වූයේ සුගන්ධයකි, සුවඳකි. (දුර්ගන්ධයක්, දුඟඳක් නොවේ)මේ තුළින් කතුවරයා සංකේතවත් කිරීමට වෙර දරා තිබුණේ මා පෙර කී කාරණාව විය හැකි ය. එනම් ඇගේ උතුම් මාතෘත්වය විය හැකි ය.
කෙසේ වෙතත් යම් කරුණක්,යම් දෙයක් ඉදිරිපත් කිරීමේ දී එය සංයමයෙන් යුතු ව (ලේඛකයෙක් තුළ තිබිය යුතු හික්මීමකින් යුතු ව) ඉදිරිපත් කිරීම දක්ෂ ලේඛකයෙක් තුළ දක්නට ලැබෙන එක්තරා ලක්ෂණයකි.එකී සාධනීය ලක්ෂණය මෙකී ලේඛකයා අතින් ඇතැම් අවස්ථාවන්වල දී ගිලිහී තිබෙන බව පෙන්වා දිය හැකි ය.ඒ බව සනාථ කරවන එක් දෘෂ්ටාන්තයක් පහත දැක්වේ.
මෙකී හික්මීම,මෙකී සංයමය ලේඛකයින් විසින් ඇති කර ගත යුත්තේ හැකිතාක් උපරිමයෙන් ම අපේ පැරණි සාහිත්‍ය ග්‍රන්ථ (සද්ධර්මරත්නාවලිය, සද්ධර්මලංකාරය,කව්සිළුමිණ, යසෝදරාවත.............-මා මෙලෙස පැරණි ග්‍රන්ථවල නම් කිහිපයක් සඳහන් කළේ හික්මීමක්, සංයමයක් ඇති කර ගනු වස් පරිශීලනය කළ යුතු පැරණි ග්‍රන්ථ සඳහා උදාහරණ කිහිපයක් සැපයීමේ අරමුණින් පමණි, කෘති එකිනෙක සැසඳීමේ අරමුණින් නොවේ) පරිශීලනය කිරීමෙනි. ඒවාවලින් ලබා ගත හැකි ආභාසය අතිමහත් ය. ඒවා දක්ෂ ලේඛකයෙක් වීම සඳහා ඉතා වැදගත් වේ.මෙකී නිධන් ආකරවලින් හැකිතාක් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමට ලේඛකයින් දක්ෂ විය යුතු ය.
මෙහිදී ඇතැම් දුර්වලතාවයන්, ඇතැම් නිශේධනීය ලක්ෂණයන් කෘතිය තුළින් සුළු වශයෙන් දක්නට ලැබුණද සමස්තයක් වශයෙන් ගත් විටදී මෙකී කතුවරයා ස්ත්‍රීත්වය පිළිබඳ ව ප්‍රශංසනීය විවරණයක යෙදී තිබෙන බව පෙන්වා දිය හැකි ය.
No comments:
Post a Comment