Sunday, July 29, 2018

වකුගඩු රොගයෙන් ආරක්ශා වීම

වකුගඩු රොගයෙන් ආරක්ශා වීම සදහා ගත යුතු ආහාර

වකුගඩු රෝග හැදෙන්නේ අපට ආවේණික ආහාරවලින් ඉවත් වීම නිසයි
කෘෂි කාර්මික රටක් වූ ශ්‍රී ලංකාවේ එකල වැඩි වශයෙන් සිටියේ ජවසම්පන්න නිරෝගී ගොවීන්ය. එහෙත් වර්තමානයේ අපේ ගොවි පරපුර වකුගඩු රෝගයකට ගොදුරු වී රෝගීව සිටිති. රෝගය උත්සන්න වන තෙක්ම බොහෝ විට රෝග ලක්ෂණ ප්‍රකට නොකරන වකුගඩු රෝගයේදී බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් නිශ්චිත ප්‍රතිකාරයක් හඳුනා ගැනීමට සමත් වී නැත.

ඔබ වකුගඩු රෝගියකු හඳුන්වන්නේ කොහොම ද?

වකුගඩු රෝගියකු යනු වකුගඩු පමණක් නරක් වූ රෝගියකු නොවේ. වකුගඩු රෝගියකු යනු සම්පූර්ණයෙන් ශරීරය රෝගී අයෙක්. පුද්ගල සිරුරේ ප්‍රකෘතිය ආහාරපාන හේතු කොටගෙන වෙනස් වෙනවා. ප්‍රකෘතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. වාපිත් සෙම් කෝපවීම සප්ත ධාතු ගතවීමෙන් පුද්ගලයා රෝගී කරනවා. එවිට මුළු සිරුරම රෝගී වෙනවා. වකුගඩු රෝගියකුගේ මානසික තත්ත්වයත් වර්ධනය වෙන්න ඕන. වර්තමානයේ වකුගඩු රෝගියකු වීම මරණය ළංකර ගැනීමක් ලෙස සැලැකීමටත් සමහරු පුරුදු වී සිටිනවා. ඒ නිසා එවැනි අයගේ මානසික තත්ත්වයත් රෝග නිවාරණය සම්බන්ධයෙන් වැදගත් වෙනවා. වකුගඩු රෝගියකු නිසි ආහාර රටාවක් පිළිපැදීම වැදගත්. වකුගඩු රෝගියකු නොවූ නිරෝගී පුද්ගලයන් නිසි ආහාර විහරණ පවත්වාගෙන යාමෙන් රෝග ඇතිවීම වළක්වා ගත හැකි වෙනවා.

වකුගඩු රෝගියකු හඳුනා ගන්නේ කෙසේ ද?

වකුගඩු රෝගියකුගේ රෝගී තත්ත්වය හඳුනා ගන්නා විට වකුගඩු 80% ක් අක්‍රිය වෙලා. රජරට වකුගඩු රෝගයේදී කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒත් ඇතැම් පුද්ගලයන්ට කෑම අරුචිය, මහන්සිය (වැඩ කළත් නොකළත් වෙහෙස දැනීම) ඇඟ කැසීම, කොන්දෙ කැක්කුම, බඩ පිපීම, අතපය ඉදිමීම හා වැඩිපුර හෝ අඩුවෙන් මුත්‍රා පිටවීම වැනි රෝග ලක්ෂණ පෙන්වනවා. රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් එය සුව කිරීමේ හැකියාව තිබෙනවා.

වකුගඩු රෝගයේ දී රෝග ලක්ෂණ පැහැදිලි නැත්නම්, තමන් රෝගියකු බව හඳුනා ගෙන මුල් අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා යොමු වන්නේ කෙසේ ද?

ඔබ සිටින්නේ රෝගය බහුලව පැතිර යන ප්‍රදේශයක නම් මාස 3 කට හෝ 6 කට වරක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් ලේ හා මුත්‍රා පරීක්ෂා කරවාගන්න ඕන. ඉන් මුල් අවස්ථාවේ රෝගය හඳුනා ගැනීමෙන් ඉක්මනින් සුවකර ගැනීමේ හැකියාව ලැබෙනවා. රෝගය කාලයක් තිස්සේ ශරීරය තුළ තිබී සප්තධාතු ගතවීමෙන් පසු රෝගය සුව කිරීමට ගතවන කාලය වැඩියි.

දේශගුණික තත්ත්වයත් මේ රෝගයට බලපෑම් කරනවා ද?

ඔව්. අනුරාධපුර වැනි උෂ්ණය අධික පළාත්වල ලේ ධාතුව කෝප වෙන අවස්ථාවන් ගෙන් වැළැකි සිටිය යුතුයි. ශරීරයෙන් වැඩි ජල ප්‍රමාණයක් පිටවෙද්දී වැඩි ජලය ප්‍රමාණයක් පානය කිරීම, දියරමය ආහාර වැඩිපුර ගැනීම ජලය බහුල කොමඩු කැකිරි පිපිඤ්ඤා වැනි ආහාර ගන්න ඕන. කොහොම වුණත් මේ රෝගයට දේශගුණය මෙන්ම ආහාර රටාවත් බලපෑම් කරනවා.

අද රටපුරා පැතිර යමින් පවත්නා වකුගඩු රෝගී තත්ත්වය ඔබ හඳුනාගෙන තිබෙන්නේ කොහොම ද?

ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ඉන්ද්‍රිය වකුගඩුවයි. ශරීරයේ එකතු වන විෂ පදාර්ථ ශරීරයෙන් ඉවත් කරනු ලබන්නේ වකුගඩුව මඟින්. ශරීරයට විෂ පදාර්ථ එකතු වන ප්‍රමාණය වැඩිවීමත් සමඟ වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. අද මිනිස් සිරුරට ඇතුළු වන විෂ පදාර්ථ ප්‍රමාණය වැඩියි. ආහාරපාන හා ඖෂධ හරහා මිනිස් සිරුරට විෂ පදාර්ථ එක් වෙනවා. අතීතයේදී මේ විෂ පදාර්ථ ඉවත් කර ගැනීමට මිනිසුන් කටයුතු කළා. ඒ සඳහා මාස තුනකට හයකට වරක් විරේචන කර්ම සිදුකළා. එම විරේචන කර්මයේදී අපි නොදැනම අපගේ සිරුරෙහි ඇති විෂ පදාර්ථ ඉවත් වුණා. දැන් මිනිස් සිරුරෙහි අසීමිතව විෂ තැන්පත් වෙනවා. හේතුව විරේචන කර්ම ක්‍රමානුකූලව සිදු නොකිරීමයි.

සතියකට දවසක්වත් තැම්බුම් හොද්දක් දැන් බොන්නෙ නෑ. අග්නිකාරක (කුසගින්න වඩවන) තැම්බුම් හොද්ද මඟින් ආහාර දිරවීම වර්ධනය කරනවා. එමෙන්ම ආහාර මාර්ගයේ ඇති අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා. ඉස්සර අය ආහාර ගැනීමෙන් පසුව බුලත් විටක් හැපුවා. එයට බුලත් සාදික්කා ඉඟුරු පියළි, වසාවාසි, වළඟසාල් කරදමුංගු, කරාබුනැටි ආදි සුවඳ කාරක රස කාරක ඇතුළත් වුණා. එමඟින් ශරීරයේ උත්තේජනය වී ආහාර දිරවීමේ හැකියාව වර්ධනය වුණා. ඒත් අද බුලත්විට සැපීමත් අඩුවෙලා.”

ආහාර දිරවීමේ කාර්යය පහසු කරන ද්‍රව්‍ය අතර තුනපහ හෙවත් සරක්කු ඉතා වැදගත්. නිවැරැදි ලෙස තුනපහ ආහාර සැකැසීමට එකතු කර ගැනීමෙන් කුසගින්න වඩවා ගැනීමට ආහාර රසවත් කර ගැනීමට, බෝ නොවන රෝග වලින් වැළැකී සිටීමට ඉඩකඩ සැලැසෙනවා. මිරිස් තුනපහ අඹරා ගැනීමේ දී හා කොටා ගැනීමේ දී එහි ගුණ වෙනස් වෙනවා. දැන් අපි බොහෝ දෙනෙක් කන්නේ වෙළෙඳපොළෙන් ගන්නා තුනපහ. ඒවායේ මොනවා තියෙනව ද කියලා කවුද දන්නෙ.

අපේ පැරැන්නන් විරුද්ධ ආහාර එකට ගත්තේ නැහැ. ගොඩ දියමස් එකට අනුභව කළේ නැහැ. මස් සහ මුදවපු කිරි එකට ආහාරයට ගත්තේ නැහැ. ඒත් අපි මස්, මාළු, කිරි තුනම එකවර එකම ආහාරවේලට ගන්නවා. විරුද්ධ ආහාර නිතර නිතර එකට අනුභව කිරීමෙන් ශරීරය තුළ නිපදවෙන විෂ පදාර්ථ ප්‍රමාණ වැඩි වෙනවා. එම විෂ ඉවත් කිරීමට සිදු වන්නේ වකුගඩුවලටයි.

ඉස්සර මිනිස්සු වෙහෙස මහන්සි වී වැඩ කළා. ශරීරයේ විෂ දහදිය මඟින් පිටවුණා. දැන් ඒ කාර්යය සිදුවන්නෙත් නැහැ. ශරීර ගතවන විෂ පදාර්ථ නිසි ලෙස ඉවත් නොවීම හා එසේ ඉවත් කර දැමීමට අනුගමනය කළ දේශීය සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රියාවලිය අඩපණ වීම වකුගඩු රෝගය පැතිර යාමට හේතු වී තිබෙනවා. අපගේ ආහාර විධි වෙනස් වීම හා ආහාර රටාව වෙනස් වීම ද රෝගී තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා.

මොකක්ද මේ ආහාර රටාව වෙනස්වීම?

ඉස්සර අය ආහාර ලෙස එළවළු පලතුරු පලා ධාන්‍ය හා අල වර්ග දෙසිය විස්සකටත් (220) වැඩි ප්‍රමාණයක් භාවිත කළා. ඒත් අද ආහාර රටාව හරිම සරලයි. මස් මාළු වර්ග කිහිපයකට උඩරට හා පහතරට එළවළු කිහිපයකට සීමා වී තියෙනවා. පුළුල් ආහාර සංස්කෘතියක සිටි අපේ අය ඉතා පටු ආහාර සංස්කෘතියක කොටුවීම මේ රෝගී තත්ත්වයට හේතු වී තියෙනවා.

අද තේ කෝපි හෝ පැණි බීම භාවිත කරන අය ඉස්සර ඉරමුසු, පොල්පලා, බෙලිමල්, බෙලිකටු, නීර මුල්ලිය, රණවරා තැම්බු වතුර මෙන්ම පලතුරු යුෂ ද භාවිත කළා. අද ඒ රසවත් පානයන් ගෙන් ඈත්වීම නිසා කුසගින්න ඇතිවීම ශරීරයේ විෂ ඉවත්වීම හා ශරීරය උත්තේජනය වීම වැනි ඒවා නිසි ලෙස සිදුවන්නේ නැහැ.
කැකිරි පිපිඤ්ඤා තියඹරා, කොවක්කා කොමඩු පොල්පලා නීරමුල්ලිය ආහාර වේලෙන් ඉවත් වෙලා. පොල්පලා නීරමුල්ලිය මුත්‍රා වැඩි ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් කිරීමට සමත් වෙනවා. ඒ සමඟ ශරීරගත වූ විෂ පදාර්ථ ඉවත් වීම සිදු වෙනවා මේ ද්‍රව්‍ය ආහාර පාන ලෙස නොගැනීමෙන් ශරීරයේ පිරිසුදු වීමේ ක්‍රියාවලිය අඩපණ වෙලා. එය වකුගඩු රෝගය උත්සන්න වීමට උපකාර වුණා. ඒවා සතියකට වරක් හෝ දෙවරක් ආහාරපාන ලෙස ගැනීමෙන් රෝගී පුද්ගලයන් නිරෝගී වීමටත්, නිරෝගී පුද්ගලයන්ගේ සෞඛ්‍ය සංරක්ෂණයටත් උපකාරී වෙනවා.

ආහාර සංරක්ෂණ විධි වෙනස් වීම ගැනත් ඔබ කිව්වා.

ඔව්. ඉස්සර අපේ අම්මල කොස් තැම්බුවොත් අඹ හොද්දක් උයනවා. ඉන් ආහාර දිරවීම පහසු කළා. පැණි රස ආහාර අධිකව ගන්නා කාලයට කටුක හා තිත්ත රස ආහාරපාන ගත්තා. මේ නිසා පැණි රස ආහාරයේ බලය අඩු වුණා. කඩල ආහාරයට ගනිද්දී පොල් එකතු කළා. ඉන් කඩල දිරවීම පහසු කළා. අප ගන්නා ඇතැම් ආහාර මුත්‍රා පද්ධතිය පිරිසුදු කරනවා. ඒ අතර පොල්පලා කැකිරි පිපිඤ්ඤා රාබු මුරුංගා විශේෂයි. අප ඒ ආහාර අතහැර දැම්මා. උදාහරණයක් ගත්තොත් ඉස්සර කැකිරි උයද්දී කැකිරි ඇට පොල් සමඟ අඹරා වෑංජනයට එකතු කළා. ඉන් කැකිරි ඇටවල ඇති මුත්‍ර ව්‍යුහය (මෞත්‍ර පද්ධතිය) පිරිසිදු වීමේ රසායන ශරීරගත වුණා. ඒත් අපි දැන් කැකිරි ආහාරයට ගනිද්දී ඇට ටික විසිකර දමනවා. ඉතින් කැකිරි ආහාරයට ගැනීමේ අරමුණු ඉටුවන්නේ නැහැ. කැකිරි ඉතා හොඳින් වකුගඩු පිරිසුදු කරන ආහාරයක්.

ඔබ ආහාර දිරවීමේ හැකියාව ගැන කතා කළා. එය රෝගයට බලපෑම් කරන්නේ කොහොම ද?

ආහාර දිරවීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ නිසා තමන්ට ප්‍රමාණවත් ආහාර ගැනීම අවශ්‍ය වතුර ප්‍රමාණය පානය කිරීම වැදගත්. ආහාර දිරවීමෙන් පසු නැවත ආහාර ගැනීම මඟින් ආහාර දිරවීම හොඳින් පවත්වාගත හැකි වෙනවා. ආහාරවල ඇති පෝෂ්‍ය කොටස් නිසි ලෙස ශරීරයට උරා ගැනීමෙන් පසු පිටවන මළ ජලයේ පා වෙනවා. ඉන් ඔබගේ නිරෝගී භාවය පිළිබඳව ඔබටම අවබෝධයක් ලබාගන්න පුළුවන් වෙනවා.

වකුගඩු රෝගයේදී ආහාර ගැන සැලකිලිමත් විය යුතුම ද?

පුද්ගලයා ජීවත්වන ප්‍රදේශයේ වැවෙන ආහාරපාන වර්ග භාවිත කිරීම ඉතාම වැදගත්. ප්‍රදේශයේ ඇති ආහාර ගැන නොසලකා රසකාරක යෙදූ කෘතිම හා ක්ෂණික ආහාරවලට යොමුවීමෙන් පුද්ගලයා රෝගී අයකු බවට පත් කරනවා. මෙය වකුගඩු රෝගීන්ට පමණක් බලපාන්නක් නොවේ.

ඔබ කියන ආකාරයට ආහාර විහරණයන්ම ද වකුගඩු රෝගයට හේතු වන්නෙ?

නැහැ. ආහාර කල් තබා ගැනීමට භාවිත කරන විෂ ද්‍රව්‍ය, කෘෂි රසායන ද්‍රව්‍ය, කෘමිනාශක ඊට බලපානවා. මිනිසුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව හීනවීම හා ධර්මානුකූල ජීවිතයක් ගත නොකිරීම ද රෝගි වීමට හේතුවක්. රජරට වාරි පද්ධතිය හා පරිසර පද්ධතිය බිඳ වැටීම විශේෂයි. ඉස්සර වැව් ආශ්‍රිතව පැවැති ජල පිරිපහදු ක්‍රමවේදය වූ විෂ උරාගන්නා ශාක සිටුවීම හා “කට්ටකඩු වැව” (කුඩා වැව) වර්තමානයේ දකින්න නැහැ. එනිසා වැව් ජලය සමඟ මිශ්‍ර වූ විෂ ඉවත් වීමේ ක්‍රමවේදය අද නැවතිලා. විෂ සහිත ජලය පානය කිරීමෙන් එම විෂ ශරීරයේ තැන්පත් වී රෝගී ලක්ෂණ පහළ කරනවා.

මිනිසා ස්වාභාවික ජීවන රටාවෙන් හා දේශීය සංස්කෘතියට ආවේණික ආහාරපාන භාවිතයෙන් ඈත්වීම අද මෝස්තරයක් බවට පත්ව තිබේ. කැලරි හා පෝෂණය පිළිබඳව කතා කළත් ආහාරයේ ඖෂධීය ගුණය අමතක කර දැමීමට අපි පුරුදු වීමු. විද්‍යාව හා පර්යේෂණ සමාජ ප්‍රගමනයට උපකාරී වුවද දේශීය ආහාර විහරණ හා රටාවන් පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතු කාලයට අපි එළඹ සිටිමු.


No comments:

Post a Comment

සිංහල සාහිත්‍යයේ නිරූපිත හෙළ වෙදකම හා බුදු දහම   දේශීය වෙදකමෙහි ආරම්භය පිළිබදව නිශ්චිත දින වකවානු දැක්විමට අපොහොසත් වුවත් ජනප්‍රවාද හා ...