දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම
දැයට අහිමි වන ඉපැරණි වෛද්‍ය ක්‍රම
දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය යනු ඉපැරණි සිංහලයන්ගේ සෞඛ්‍ය සංරක්ෂණයට උපකාරී වූ ප්‍රධාන චිකිත්සා ක්‍රමය යි. බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකයේ බිහිවීමටත් ප්‍රථම පළමු වරට අංග සම්පූර්ණ ආරෝග්‍ය ශාලා බිහි කොට ශල්‍යකර්ම පවා සිදු කරමින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ අති විශිෂ්ට නාමයක් සනිටුහන් කිරීමට අප මුතුන් මිත්තන්ට එදා හැකි විය. දේශීය වෛද්‍ය ක්රමයේ යටගියාව නිරීක්ෂණය කළහොත් ඔබ මවිත වන තොරතුරු කොතෙකුත් සොයා ගත හැකි ය. පරපුරෙන් පරපුරට ගුරු ගෝල සම්බන්ධතාවයෙන් යුතුව පවත්වා ගෙනෙන ලද එකී වෛද්‍ය ශිල්පයේ විස්මිත ශිල්ප ක්‍රම බොහෝමයක් අද වන විට වියැකී ගොස් බොහෝ කල් ය. ඉතිරිය අනාදිමත් කාලයක සිට සිංහල ජාතියෙන් ගිලිහෙමින් පවතී.
දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අදාළ වෛද්‍ය ක්‍රම බොහෝමයක් ම පවතී. එකී වෛද්‍ය ක්‍රම අතුරින් අද වන විට බොහෝ දුරට වියැකී ගොස් ඇති චිකිත්සා ක්රමයකි දේශීය පාරම්පරික සර්ප විෂ වෙදකම.
ශ්‍රී ලංකාවේ සර්පයෝ
සර්ප විෂ වෛද්‍ය ක්‍රමය ගැන සඳහන් කරන විට ශ්‍රී ලංකාවේ සර්ප වර්ගීකරණය පිළිබඳ ව දැන සිටීම ඉතා වැදගත් වේ. ඒ අනුව සර්ප ගණන අතරින් සර්ප විශේෂ 96ක් ලංකාවේ වාසය කරති. ඉන් 45ක් ලංකාවට ආවේණික වේ. ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 20කි. ඉන් 13ක් කරදියවාසී මුහුදු සර්පයන් වේ. ඔවුන් ගොඩබිම වෙසෙන සර්පයන්ට සාපේක්ෂ ව උග්‍ර විෂ සහිත ය.
1. නාගයා
2. තිත් පොළඟා
3. වැලි පොළඟා
4. තෙල් කරවලා
5. මුදු කරවලා
6. පොළොං තෙලිස්සා
7. බඩ කහ මුහුදු නයා (වාලක්කඩියා)
මඳ විෂ සහිත සර්පයෝ
1. පලා පොළඟා
2. සියලු ම මාපිල් වර්ග (ලේ මාපිල්, නාග මාපිල්, රෑන මාපිල්, ගැරඬි මාපිල්, පඳුරු මාපිල්, කහ මාපිල්, නිදි මාපිල්)
3. පොල් මල් කරවලා (මල්සරා)
4. මූකලන් තෙලිස්සා
5. කට කළුවා
6. අහුරු කුක්කා
7. ලේ මැඩිල්ලා
8. දෙපත් නයා
නිර්විෂ සහිත සර්පයෝ
1. ඇහැටුල්ලා
2. වලකා අතුබයා
3. දුමුටු කන උල්ලා
4. පිඹුරා
5. දිය නයා
6. දිය පොලඟා
7. තුරු හාල්දණ්ඩා
8. අරණී දත් කැටියා
දේශීය වෛද්‍ය ක්රමයේ විෂ වර්ගීකරණය
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය වෛද්‍ය ක්රමයේ නිර්මාතෘ වූ සුශ්‍රැත නැමැති ඍෂිවරයා විසින් ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව මින් වසර 5000කටත් වඩා අතීතයේ දී රචනා කරන ලද ශ්‍රේෂ්ඨ වෛද්‍ය ග්රන්ථයක් වූ සුශ්‍රැත සංහිතාවේ මෙසේ පෙන්වා දී තිබේ.“අගධ තන්ත්‍රං නාම සර්ප කීට ලූතා වෘශ්චික මූසිකාදි දෂ්ඨ විෂ ව්‍යංජනාර්ථඃ විවිධ විෂ සංයෝග විෂෝප හථෝප සාමණාර්ථංච”
මීට අනුව සුශ්‍රැත ඍෂිවරයා විසින් ප්‍රධාන වශයෙන් විෂ වර්ගීකරණයේ දී ප්‍රභේද කිහිපයක් පෙන්වා දී තිබේ.
1. ජංගම විෂ
ජංගම විෂ යනු සියලු ම සර්ප, කීට, දිවි මකුළු, බලු, බළල්, වඳුරු, හිවල්, හිකනැල්, පත්තෑ, ගෝනුසු, බඹර, දෙඹර, මී මැසි, මදුරු, මත්ය ආදී කොට ඇති ඕනෑම සතෙකුගේ දළ, දත්, විත, බූව, තුඩ, මල, මූත්‍ර, ශුක්‍ර ආදිය තුළින් විෂ ශරීරගත වීම යි. දෂ්ට කිරීම්, සපා කෑම්, විදීම්, සීරීම්, ස්පර්ශ වීම්, ආඝ්‍රාණය කිරීම් ආදියෙන් මෙකී ජංගම විෂ සත්ව ශරීරගත වෙයි.
2. ස්ථාවර විෂ
කෘමිනාශක, වල්නාශක විස වර්ග, පාසානම් වර්ග, විෂ සහිත ගෙඩි වර්ග, නියඟලා, වච්චනාවි වැනි විෂ ඇට වර්ග, ඖෂධ සඳහා ගන්නා විෂ සහිත බෙහෙත් වර්ග මේ ස්ථාවර විෂ ගණයට අයත් වේ. (උදා – රසදිය, ගෙන්දගම්, පල්මාණික්කම්, සියලු ම පාසානම් වර්ග)
3. කෘත්‍රිම විෂ
මෙහි කෘත්‍රිම යන වචනයට අනුව ස්වභාවික නොවන යන අර්ථය ප්‍රකාශ වේ. ඒ අනුව කෘත්‍රිම ව නිෂ්පාදනය කරනු ලබන විෂ ද්‍රව්‍ය මේ යටතට ගැනේ. විශේෂයෙන් අනුන් නැසීම මෙන් ම තමන්ගේ දිවි නසා ගැනීමට ද මේවා භාවිත කරයි.
4. ඝර විෂ
මේ ඝර විෂ නිපදවනු ලබන්නේ ප්‍රාණීන්ගේ මළ, මූත්‍රා, කෙළ, නිය, දත්, ලෝම, ආර්ථව, ශුක්‍ර ආදිය උපයෝගී කොටගෙනයි. ඉනා බෙහෙත් ලෙස මෙය හඳුන්වන අතර වශීකරණ කටයුතු සඳහා මේ විෂ යොදා ගනී.
5. සංයෝජක විෂ
කෘත්‍රිම විෂ හා ඝර විෂ එක්ව ගොඩනැගුණු විෂ අවස්ථාව මෙලෙස හඳුන්වා දී තිබේ.
6. දූෂී විෂ
මෙය කිනම් හෝ විෂ වර්ගයක් සත්වයාගේ ශරීරගත වීම හේතු කොටගෙන පසුකාලීන ව ඇති වන උග්‍ර ආබාධ සහිත විෂ තත්ත්වයකි. කුමන හෝ විෂක් ශරීරගත වීමෙන් පසුව කරනු ලබන ප්‍රතිකාර සමඟ අනුමත කරන පථ්‍ය, අපථ්‍ය, විහරණ නිසි අයුරින් පරිහරණය නොකීරීම නිසා ශරීරයේ ත්‍රිදෝස (වා, පිත්, සෙම්) සප්ත ධාතු (රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර) කුපිත කරමින් විෂ ක්‍රියාවක් ඇති කරනු ලබයි ද එය දූෂි විෂ ලෙස හඳුන්වා දී තිබේ. විශේෂයෙන් සර්ප විෂ දෂ්ටයක දී නිසි ප්‍රතිකාර නොකිරීම හේතු කොටගෙන පසුකාලීන ව දරුණු අතුරු ආබාධ පැන නගී. ඒ අතර නා නා විධ කුෂ්ඨ රෝග, ඇස් පෙනීමේ දුර්වලතා, කල් පවතින හිසරදය, යටි බඩ ගිනියම් වීම, වකුගඩු දුර්වල වීම, යටි පතුල් හා නිය යට දැවිල්ල, විෂ ගඩු මතු වීම, ලිංග, යෝනි, ගුද ආදී රහස් ප්‍රදේශවල විෂ වණ හට ගැනීම, සිහි මුළාව වැනි භයානක රෝග වලට හේතු වේ.

♥️♥️♥️
ReplyDelete