ලංකාවේ සාම්ප්‍රදායික හෙළ වෙදකම...
(දිල්මි ජයසූරි පර්යේෂණ නිලධාරි
මධ්‍යම සංස්‌කෘතික අරමුදල))
රටක සංස්‌කෘතියක් විවිධ අංගෝපාංගයන්ගෙන් සමන්විත වේ. ප්‍රකට මානව විද්‍යාඥ කේ. මැලිනොව්ස්‌කිට අනුව, යම්කිසි පුද්ගලයකු අයත් වන සංස්‌කෘතිය පාරම්පරිකව උරුම වන මානව කෘති, භෞතික භාණ්‌ඩ, තාක්‍ෂණික ක්‍රියාවලීන්, සිරිත්-විරිත්, සංකල්ප හා සාරධර්ම යන අංගයන්වලින් පරිපෝෂිත වේ.
හෙළ සංස්‌කෘතියෙහි ප්‍රබල අංගයක් වශයෙන් පැවත ආ ස්‌වදේශීය වෛද්‍ය ක්‍රමය ලෙස සලකනු ලබන්නේ දේශීය චිකිත්සාව හෙවත් හෙළ වෙදකමයි. මෙයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. සාම්ප්‍රදායික වෙදකම පිළිබඳ හැදෑරීමේදී ඒ හා සම්බන්ධිත ඇදහිලි හා විශ්වාස, ග්‍රන්ථ, සිරිත්-විරිත් හා තාක්‍ෂණික ක්‍රමවේදයන් ට හිමිවනුයේ ප්‍රමුඛ ස්‌ථානයකි. කල් යැමේදී ස්‌වදේශීය වෙදකම අතරට ආයුර්වේදය වඩාත් ප්‍රබල ලෙස සම්බන්ධ වී සංකලනය වීමෙන් එහි ස්‌වාධීන පැවැත්ම ගිලිහී ස්‌වදේසීය වෙදකම හෙවත් පාරම්පරික සාම්ප්‍රදායික වෙදකම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලෙසින් ජනතා සන්තානය තුළ විශ්වාසයෙන් ගොඩ නැගී ඇත.
-"ආයුෂ පවත්වාගෙන යැමේ විද්‍යාව" යන අරුත් දෙන ආයුර්වේදය වෛද්‍ය ක්‍රම කිහිපයකින්ම සමන්විත බව පෙනී යයි. උතුරු ඉන්දියාවෙන් පැමිණි පිරිස් සම`ග ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මෙරටට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර ලංකා උතුරුකරය හා වෙනත් ප්‍රදේශ වරින්වර යටත් කරගත් දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජාතීන් වෙතින් ලංකාවට සිද්ධ වෛද්‍ය ක්‍රමය දායාද විය. ස්‌වදේශීය වෙදකම, ආයුර්වේදය හා සිද්ධ වෙදකම යන තුන් හවුල ලක් ජන සුවසෙත පතා මහ`ගු සේවයක් කරත් දී ඈත අතීතයේ පටන් වෙළඳාම් කටයුතුවල යෙදී සිටි මුස්‌ලිම්වරුන්ගේ මහ`ගු වෛද්‍ය ක්‍රමයක් ව පැවති යුනානි වෛද්‍ය ක්‍රමය ද මේ අතරට පිවිසියේය. කෙසේ වුවද මෙම වෛද්‍ය ක්‍රම තුනම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලෙස සලකන අතර දේශීය සිංහල වෙදකමද ඊට සම්බන්ධ වෙමින් වසර දහස් ගණනක් තිස්‌සේ ලංකාවාසීන්ගේ ශාරීරික ගැටලු පමණක් නොව මානසික ගැටලුවලට ද සත්කාර කරමින් ශ්‍රී ලංකා සංස්‌කෘතිය කළ එළි කරයි.
මූලාශ්‍රයන්
පැරණි ශ්‍රී ලංකාවේ පැවැති වෛද්‍ය ක්‍රමය පිළිබඳ තොරතුරු ග්‍රන්ථාශ්‍රයෙන් හා පුරාවිද්‍යාත්මක සාක්‌ෂි මගින් ලැබේ. මේ අතරින් මහාවංසයට වැදගත් තැනක් හිමි වේ. පණ්‌ඩුකාභය රජු සමයේ ඉදි කරන ලදැයි සැලකෙන සිවිකාසාලා හා සොත්ථිසාලා පිළිබඳව මහාවංසයේ සඳහන් වේ. මීට අමතරව බුද්ධදාස රජුද, IV වැනි අග්බෝ රජු ද වෛද්‍ය ශාස්‌ත්‍රය මනාව ප්‍රගුණ කළ රාජ්‍ය නායකයන් ලෙසට සඳහන් ය. අනිකුත් බොහෝ රජවරුන් වෛද්‍යවරුන්ට වැටුප් ගෙවූ බවද, ඉදිකරවූ රෝහල් පිළිබඳව ද, මහාවංසයේ විස්‌තර රාශියක් අන්තර්ගත වේ.
පැරණි ශ්‍රී ලංකාවේ වෙදකම පිළිබඳව දෙවනුව වැදගත් සාක්‌ෂි ලැබෙනුයේ ශිලා ලේඛනවලිනි. රෝහල්වලට ලැබුණ රාජ අනුග්‍රහ, වෛද්‍යවරුන්a ලත් වැටුප් හා වරප්‍රසාද, දීමනා, වෛද්‍ය ක්‍රම, රෝහල්වලට අයත් ඉඩම් සහ රෝහල් පරිපාලනය පිළිබඳ ව්‍යවස්‌ථා ආදී තොරතුරු මෙම ලේඛනවල අන්තර්ගත වේ. දොරබාවිල ටැම් ලිපිය, මිහින්තලා පුවරු ලිපිය, මැදිරිගිරිය පර්වත ලිපිය වැනි ලිපි මේ සඳහා නිදසුන් කිහිපයකි.
රාජ්‍ය අනුග්‍රහය ලබමින් අනුරාධපුර යුගයේ ඉදි වූ බෙහෙත් ගෙවල්, රෝහල්, වෙදහල් හා තිඹිරිගෙවල් පිළිබඳ මෙම අවධියේ පිහිටුවන ලද අත්තාණි පරිහාර කණු මගින් කරුණු අනාවරණය වේ. අත්තානි පරිහාර යනු රාජ සභාවේ සම්මතයෙන් පවරා දෙන ලද විශේෂ අනුග්‍රහ හා වරප්‍රසාද ඇතුළත් ප්‍රදාන විශේෂයකි. පරිහාර ලැබූ භූමි අභයස්‌ථාන සේ සලකන ලදී. IV වැනි කාශ්‍යප රජු කළ බමුණ කුම්බුරම් නමැති බෙහෙත් ශාලාවකට මේගිරිවත්ත නමින් කළ ඉඩම් පරිත්‍යාගයක් පිළිබඳව කිරිබත්වෙහෙර ටැම් ලිපියේ සඳහන් වේ. මෙහි සතර සීමා නිශ්චය කොට අභය භූමියක් සේ ප්‍රකාශයට පත් කොට තිබූ අතර එහි පැමිණෙන අපරාධකරුවන් අල්ලා ගැනීමට බලයක් රාජපුරුෂයන්ට වුවද නොමැත. මෙයින් ගම්‍යය වනුයේ එකල්හි රාජ්‍ය ඇ`ගිලි ගැසීම්වලින් තොර ස්‌වාධීන ආයතනයක් වශයෙන් වෙදහල් පැවති බවයි. දොරබාවිල ටැම් ලිපියට අනුව දප්පුල මාපාණන්ගේ පරිහාරයක් ගැන සඳහන් වේ. V වැනි කාශ්‍යප රජතුමා කරවන ලද රෝහලකට අයත් ඉඩම් කිහිපයක් ඉහත ප්‍රදානයට උරුමකම් කියා ඇත. පරිහාරයෙන් ප්‍රදානය වූ වරප්‍රසාද උල්ලංඝනය කරන්නා වූ රජවරුන් ඈපා, මාපා ආදී කවර මට්‌ටමේ වුවද කවුඩු බලු වන බවට එහි සඳහන් ය. පොළොන්නරු රාජ සභා මන්දිර ටැම් ලිපියට අනුව ඉඩම් හිමියකු රෝහලට බදු ගෙවීමේ කොන්දේසිය මත ඔහුට දෙන ලද නිදහස්‌කම් වලට දෝති වලක්‌නා නමැත්තා අරඹන ලද රෝහලට වසරක් හැර වසරක් වියළි ඉ`ගුරු පෑලක් දිය යුතු බව සඳහන් කර ඇත.
වෛද්‍ය ග්‍රන්ථකරණය
වෛද්‍ය ග්‍රන්ථකරණය සඳහා භාවිත වූයේ සංස්‌කෘත භාෂාවය. පොත් පිටපත් කිරීමේදී අලුත් පුස්‌කොළවල අතින් ලිවීම ඉතා වෙහෙසකර කාර්යයක් වූ බැවින් වෛද්‍යවරු දැනුම රැස්‌කර තබා ගනු ලැබුවේ මුඛපරම්පරාවෙනි. ගද්‍යයට වඩා පද්‍ය පහසුවෙන් ධාරණය කර ගැනීම පහසු වූයෙන් ඇතැම් වෛද්‍ය ග්‍රන්ථවල අඩංගු දෑ පද්‍යයට නංවන ලදී. එකල්හි වෛද්‍ය ශාස්‌ත්‍රය උගෙනීම භික්‌ෂූන් වහන්සේලාගේ හා ප්‍රභූ පවුල්වල උපත ලැබූ කිහිප දෙනකුගේ වරප්‍රසාදයක්‌ව පැවතිණ.
රාවණ රජතුමා විසින් රචිත අර්ථ ප්‍රකාශ, උඩ්ඩිශ තන්ත්‍ර හා කුමාර තන්ත්‍ර නම් අගනා වෛද්‍ය ග්‍රන්ථ විවිධ ක්‌ෂේත්‍ර අළලා ලියෑවී ඇත. කෙසේ වුවද ස්‌වදේශීය වෙදකම අතරට දකුණු ඉන්දියානු ආර්යයන්ගේ ආයුර්වේදය පසුකාලීනව වඩාත් ප්‍රබල ලෙස සම්බන්ධ විය. සංස්‌කෘත භාෂාවෙන් ලියෑවී දේශීය වෙදරාළලා අතරට ගිය චරක සංහිතාව හා සුශ්‍රැත සංහිතාව ආයුර්වේදයේ ඇති විශිෂ්ට වූ මුල් කෘති දෙකක් ලෙසට පිsළිගැනේ. ඒ මගින් වෛද්‍ය කර්මය අංශ අටකට බෙදා කටයුතු කළ හෙයින් ඔවුනට වඩාත් පහසුවක් සැලසුනා විය හැකිය. එම අංශ අට කාය චිකිත්සා, ශල්‍ය චිකිත්සා, ශාලාක්‍ය චිකිත්සා, කෞමාර හස්‌ත, අගද තන්ත්‍ර, භූත විද්‍යා, රසායන හා වාජීකරණ නම් වේ.
අනුරාධපුර යුගයේ බුද්ධදාස රජතුමා විසින් රචිත සාරාර්ථ සංග්‍රහය ද අගනා වෛද්‍ය ග්‍රන්ථයකි. මීට අමතරව වෛද්‍ය චින්තාමණිය, මාධව නිධානය, හේස-ජ මංජුසාව, සරස්‌වතී නිඝණ්‌ඩුව, සාර සංක්‌ෂේපය, ප්‍රයෝග සමුච්චය, අරිෂ්ඨ ශතකය, අරිෂ්ඨ මාලාව හා යෝග මාලාව ආදිය පුරාණයේ ලියෑවී ඇති ග්‍රන්ථ අතරින් සමහරකි. මෙලෙස අතීතයේදී දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රතිකාර ක්‍රමයක් පමණක් නොව සාහිත්‍ය ද එකලු කළ බවට මෙම ග්‍රන්ථ නිදසුන් සපයයි.
වෛද්‍ය අධ්‍යාපනය
මෙය ප්‍රධාන වශයෙන් තෝරා ගත් කිහිප දෙනකුට පෞද්ගලික මට්‌ටමින් ලබා දෙන ලදී. පැරණි වෛද්‍ය අධ්‍යාපනයෙහි ලා විහාරසථානය ප්‍රමුඛ විය. වෛද්‍ය කර්මය හැදෑරීමට අපේක්‌ෂා කරන්නකුට එම විෂයය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් ලැබූ ගුරුවරයකු සොයා ගතයුතු විය. බොහෝ විට භික්‌ෂූන් වහන්සේ කෙනෙක් හෝ ගිහි වෙදැදුරෙක් ගුරුවරයා විය. ශිෂ්‍යයා ඒ සඳහා තෝරා ගැනීමට ප්‍රථම ඔහුගේ ජන්ම පත්‍රය පරීක්‌ෂා කිරීම අනිවාර්යයෙන් ම සිදු කරනු ලබයි. හේතුව ඔහු තුළ ශාස්‌ත්‍රය මනාව පිහිටන්නේද, ඔහු ඒ සඳහා සුදුසු ද වන්නේද යන්න විමසා බැලීමයි. ගුරු මුෂ්ඨිය පවරාදීම සඳහා පෙළඹීමට තරම් ගුරුවරයා ඔහු කෙරෙහි ගොඩනඟාගනු ලබන විශ්වාසය පවත්නා තාක්, විද්‍යාර්ථියා, බොහෝ විට විහාරයේ හෝ වෙදැදුරු නිවසේ හෝ අවුරුදු ගණනාවක් වෙසෙමින් ශාස්‌ත්‍රය හැදෑරිය යුතුය.
වෛද්‍යවරු
වෙදැදුරන් ඉතා ගරු කටයුතු තත්ත්වයේ ලා සලකන ලදී. එකල සමාජයෙහි ඔවුනට මහත් පිළිගැනීමක් විය. බුද්ධදාස, VII වැනි අග්ගබෝධි හා පරාක්‍රමබාහු වැනි රජවරු පවා වෛද්‍ය කර්මය මනා ලෙස ප්‍රගුණ කළවුන් සේ සැලකේ. මහ වෙද්තා, සුලු වෙද්තා, වෙදා, පුහුඩා වෙදා යනාදී වශයෙන් ශිලා ලේඛනයන් හි වෙදැදුරන් හඳුන්වා ඇත. රජ මැඳුරේ ප්‍රධාන වෛද්‍යවරයා මහත් ගෞරවාදරයට පාත්‍ර විය. IV වැනි දප්පුල රජතුමාගේ දෙවන දොරබාවිල ටැම් ලිපියෙහි ප්‍රධාන වෛද්‍යවරයකු වෙනුවෙන් කළ ගම් ප්‍රදානයක් පිළිබඳව කියෑවේ. මෙය එකල විහාරස්‌ථාන සඳහා දෙන ලද පරිහාර දානයන් ද ඉක්‌මවා සිටී. රජ මැඳුරට යාබදව ස්‌ථිර වෛද්‍යාගාරයක් ද විය. මෙය බෙහෙත් ගේ නමින් හඳුන්වන ලදී. වෛද්‍යවරුන්ගේ පරිභෝගය පිණිස ඉඩම් පිරිනැමුණු අතර ඒවා පාරම්පරිකව පැවතිණි. එම ඉඩම් රජය මගින් නඩත්තු විය. පියාගෙන් පුතුට උරුම කර දෙනු ලැබූ අගනා පිළියම් ක්‍රම රාශියක් ඔවුන් සතු වූ අතර ඒවා අදාළ පවුල් වලටම සපුරා සීමා විය.
ආරෝග්‍යශාලා පරිපාලනය
වෙදහල් පරිපාලනයට සෘජුවම සම්බන්ධව සිටි වෙදැදුරන්, නිලධාරීන් හා සේවකයන් පිළිබඳව ශිලා ලේඛනවල සඳහන් ය. මහ වෙද්තා, සුළු වෙද්තා, වෙදා, පුහුඩා වෙදා, එඩොවුවා, වෙද්හල් කැමියන්, බෙහෙත්ගේ කැමියන්, බෙහෙදි වරෙයන්, වෙද්හල් වැස්‌සන්, සම්දරුවන් ප්‍රධාන වේ. සම්දරුවන් යනු නිලධාරීන් ය. රජයේ නිලධාරීන් රද්තොල් සම්දරුවන් යනුවෙන් හඳුන්වා ඇත. වෛද්‍ය නිලධාරීන් සඳහා වෙද් සම්දරුවන් යන්න යොදා ඇත. රෝහල් පාලන කටයුතු සඳහා වෙන් වෙන් ව කාර්යාංශයන් පිහිටුවා තිබිණි. එම සෑම කාර්යාංශයක් සඳහා ම ප්‍රධානීන් පත් කොට තිබූ අතර ඔවුන් වෙද්හල් කැමියන් ලෙස හඳුන්වා ඇත. මොවුන් වෙද් සම්දරුවන් යටතේ පරිපාලන කටයුතු සඳහා සහාය වී ඇත. ජනතාවගේ සුවසෙත පතා මහ`ගු මෙහෙයක් කළ වෙදැදුරන් වෙනුවෙන් ඉහළ වේතනයක් ගෙවන ලදී.
ගෘස්‌ථයන් සඳහා ආරෝග්‍යශාලා
මහාවංසයට අනුව මේ පිළිබඳව යම් ඉ`ගියක් ලබා දේ. පණ්‌ඩුකාභය රජු, බුද්ධදාස රජු, පරාක්‍රමබාහු රජු, VII වැනි අග්බෝ ආදී රජවරුන් මෙරට වෛද්‍ය සේවාවන්ට කරන ලද මෙහෙය මහාවංසය ආදී පොත්වල ද ශිලා ලේඛන ආදියෙහි ද දක්‌වා ඇත. ධාර්මික රජතුමා බොහෝ ප්‍රශංසාවට ලක් වන බවත්, රෝහල්, ඖෂධ, ආහාර වැනි පහසුකම් සැපයීම පුණ්‍ය කර්මයක් බවත් මහාවංසයෙහි දැක්‌වේ. ක්‍රි.පූ. 3 වන සියවසේ පණ්‌ඩුකාභය රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන සිවිකාශාලා, සොත්ථිශාලා පිළිබඳව මහාවංසය සාක්‌ෂි සපයයි. දේශීය වෛද්‍ය කර්මයට අනගි සේවාවක් කළ බුද්ධදාස රජතුමා වෛද්‍ය කර්මය, ශල්‍යකර්මය, සූතිකා කර්මය මෙන්ම පශු වෛද්‍ය කර්මය ද ප්‍රගුණ කළ බව මහාවංසය සඳහන් කරයි (37 පරි. 168 පිටුව). වෛද්‍ය සායන පවත්වා ඇති රජතුමා එහිදී ශල්‍යකර්ම ද විශාල ලෙස සිදු කර ඇත. බුද්ධදාස රජු පුත් උපතිස් කුමරුද රෝගීන්ට, අන්ධයන්ට, ගර්භනී මාතාවන්ට ද ශාලා කරවූ බව මහාවංසය කියයි. VII වන අග්බෝ රජු මුළු ලංකා ද්වීපයේම ඇති ඖෂධ පැළෑටි රෝගීන්ට හිතකරද අහිතකරද යන්න සමීක්‌ෂණයක් කරන ලදී. පරාක්‍රමබාහු රජතුමා ද දේශීය වෙදකම උදෙසා ඇප කැප වී සේවය කළ බව මහාවංසය සඳහන් කරයි. හෙතෙම භික්‌ෂූන් සහ ගිහියන් සඳහා නේවාසික ආරෝග්‍යශාලා, මාතෘ නිවාස, බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ආයතන, පශු ආරෝග්‍යශාලා ආදිය පිහිටුවමින් වෙදකම න`ගා සිටුවීමට මහත් මෙහෙයක් කරන ලදී.
ආරාමිකයන් සඳහා ආරෝග්‍යශාලා
ආරෝග්‍යශාලා පිළිබඳ සංකල්පය ඉන්දියාවේ ප්‍රභවය වී පසුකාලීනව බුදු දහම හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඇත. මෙය සෘජුවම බෞද්ධ සංකල්පයකි. රෝගීන්ට උපස්‌ථාන කිරීම, රෝහල් ඉදි කිරීම මහත් පුණ්‍ය කටයුතු සේ බෞද්ධ දේශනාවේ සඳහන් ය. කෙසේ වතුදු ආරාමිකයන් සඳහා රෝහල් ඉදිකරනු ලැබූ බවක් මහාවංසයේ සඳහන් නොවෙතත් එබඳු ආරෝග්‍යශාලා රාශියක් ගැන තොරතුරු ශිලා ලේඛනවල අන්තර්ගත වේ. අනුරාධපුරය හා පොළොන්නරුව නගර කේන්ද්‍ර කරගනිමින් මහා ආරාම ඉදි විය. එකවර භික්‌ෂූන් දෙදහසකට පමණ විසිය හැකි පරිදි පහසුකම්වලින් සමන්විත වූ මෙම ආරාම බාහිර සමාජයෙන් ඈත්ව පිහිටීමේ හේතුවෙන් වෛද්‍ය සේවා අවශ්‍ය වූ අතර ආරාම බිම් තුළම මේ අවශ්‍යතා සපුරා ගැනීමේ ප්‍රතිඵලය වූයේ ආරාමිකයන් සඳහා ආරෝග්‍යශාලා බිහි වීමයි. අනුරාධපුරය, මිහින්තලේ, පොළොන්නරුව හා මැදිරිගිරිය යන ස්‌ථානවලින් අපට මේ පිළිබඳ වැදගත් සාක්‌ෂි හමු වේ.
මෙහිදී ශරීර ස්‌වතාව වැඩූ ජන්තාඝරයට හිමි වනුයේ සුවිශේෂී ස්‌ථානයකි. ජන්තාඝරය අග්නි ශාලාව ලෙස ද හැඳින්වේ. එහි ආරම්භය බුද්ධ කාලය දක්‌වාම දිවයන්නකි. බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවලට අනුව එකල් හි විසූ සමහර භික්‌ෂූන් වහන්සේ ලා රසවත් ආහාර ගනිමින් ව්‍යායාම් නොකිරීම නිසා විවිධ රෝගාබාධවලට ලක් වීමේ හේතුවෙන් ජීවක කෝමාරභච්ච වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි බුදුන් වහන්සේ සියලුම භික්‌ෂූන්ට ජන්තාඝර වත් පිළිවෙත් අනුගමනය කරන ලෙසට අනුදැන වදාළ සේක. අනතුරුව භික්‌ෂු වත්පිළිවෙත්වල අංගයක් වූ එය පසුකාලීනව ශ්‍රී ලංකාවේ ඇති වූ බුදු දහමේ ව්‍යාප්තිය සම`ග මෙරට දියුණු වන්නට ඇත. චුල්ලවග්ගයේ සේනාසන බන්ධකයේ එන විස්‌තරවලට අනුව සාම්ප්‍රදායික වාස්‌තුවිද්‍යා තාක්‌ෂණ ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි මෙම ගොඩනැගිලි ඉදි කළ යුතු ආකාරය දක්‌වා තිබේ. උණුසුම් දිය නෑමට මූලිකත්වය දුන් ගොඩනැගිල්ලක් වූ නිසා අවශ්‍ය අවස්‌ථාවේදී ඇතුළත උෂ්ණත්වය රඳවා පිටවීම වළක්‌වා ගත හැකි පරිදි මෙය ඉදිකර තිබේ. මනා ලෙස පේළියට ගල් ඇල්ලූ ජලය ඉවතට ගලා යැමට සලස්‌වා ඇති අංගනය ගැඹුරු බේසමක් ලෙස රිටිගල ඡන්තාඝරය පැහැදිලිව පෙන්නුම් කරයි. ඔසු ආලේපන ඇඹරීම සඳහා ගන්නා ඇඹරුම් ගල් මෙහි තිබී හමු වී ඇත. දිය පුරවා තැබීම සඳහා බොහෝ ෙද්‍රdaණිකා පෙළට ගල් අල්ලා තණන ලද්දේ විය. දිය උණු කිරීම සඳහා භාවිතා කළ උඳුන් අරන්කැළේ ජන්තාඝර තුළින් හමු වේ.
බෙහෙත් ඔරු
අදත් දක්‌නට ලැබෙන බෙහෙත් ඔරුව අපූරු නිර්මාණයකි. බෙහෙත් වතුරෙහි ගිල්වා සිදුකරන අවගාහන කායික චිකිත්සාව සඳහා පිහිටුවන ලද ආරෝග්‍යශාලාවලට සම්බන්ධව ඒවා භාවිත කරන ලද බව මේ පිළිබඳ විමසීමේදී පෙනී යයි. අනුරාධපුර, මිහින්තලේ, මැදිරිගිරිය, පොළොන්නරුව හා දීඝවාපී යන ස්‌ථානයන් හි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් බෙහෙත් ඔරු හමු වී ඇත. මේවා ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මිතය. මනුෂ්‍යය ශරීරයෙහි හැඩයට අනුකූල වන පරිදි තනි ගල හෑරීමෙන් තනා ඇත. එබැවින් ඔසු දියර පිටතට ගලා ඒමක් හෝ අවශෝෂණය වීමක් සිදු නොවේ.
ශාක ඖෂධ, කිරි, ගිතෙල්, තෙල් වර්ග හා විනාකිරි වැනි ඒ ඒ රෝගී තත්ත්වයන් අනුව වෙනස්, වෙනස් සංයෝග යෙදූ ඖෂධ ශාක සාරයෙහි රෝගීන් ගිල්වා ප්‍රතිකාර කිරීමේ පැරණි ස්‌වදේසීය වෛද්‍ය ක්‍රමයට අනුව චර්ම රෝග, වාත, රක්‌තය, අර්ශස්, උණ වැනි රෝගී තත්ත්වයන්ට පිළියම් යෙදීම සඳහා මෙම බෙහෙත් ඔරු උපයෝගි කර ගන්නා ලදී. ඔසු දියර උපරිම ලෙස පිරිමසා ගැනීම සඳහා අවම ඔසු දියර ප්‍රමාණයක මුළු සිරුරම ගිල්විය හැකි පරිදි බෙහෙත් ඔරුවේ ඇතුළු පැත්තේ ආකෘතිය නිර්මාණය වී ඇත.
බුද්ධඝෝෂ හිමියන් විසින් පස් වන සියවසේ සිංහලෙන් පාලියට පෙරලන ලද අටුවා ග්‍රන්ථයක උණු දිය පුරවන ලද බඳුනකට රෝගියකු බස්‌සවා එමගින් තවා කරන ලද චිකිත්සා ක්‍රමයක් ගැන ද සඳහන් කරයි. ඒ අනුව නිමර්ජන චිකිත්සාව පස්‌වන සියවස වන විටද මෙහි ප්‍රචලිතව තිබූ බව පසක් වේ.
ඖෂධ වර්ග
ස්‌වදේශීය වෛද්‍ය ක්‍රමය තුළ භාවිත වුනු ඖෂධ වර්ග වැඩි ගණනක ම ප්‍රභවය ශාකමය විය. ශාකයේ පස් පංගුව එනම් මුල්, කොළ, මල්, ගෙඩි, පොතු මේ සඳහා යොදා ගන්නා ලදී. මේවා කසාය, චූර්ණ, කල්ක, අරිෂ්ඨ වශයෙන් ද පත්තු බැඳීමට මැල්ලුම් ලෙස මලවා ද සකස් කරගත් අතර ක්‌ෂාරීය තෙල් වර්ග ලෙස ද සාදා ගන්නා ලදී.
ඖෂධ සපයා ගැනීමට සුදුසු බිම් ලෙස බිම්කුහර, බොරලු, ගල් යනාදියෙන් විෂම නුවූ ද තූඹසA, සොහොන්, වධකස්‌ථාන, දේවස්‌ථාන යනාදියෙන් තොර වූ ස්‌ථානයන් හි වැවෙන ඖෂධ ලබා ගන්නා ලෙස ද වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වේ. වැලි සහිත නොවූ, කාරම් මැටි සහිත, බිඳෙන සුළු මැටි සහිත, ජනාශ්‍රිතව ඇති කළුවන් හෝ සුදුවන් හෝ රතුවන් භූමිය ඖෂධ ග්‍රහණයට උචිත බිම් ලෙස සංස්‌කෘත වෛද්‍ය කෘති හඳුන්වයි.
බෙහෙත් කිරුම් හා මිණුම්
මේ පිළිබඳව එකල පිළිගෙන පැවති ක්‍රමය පැරණි වෙද පොත්වල සඳහන් වේ. බර කිරුමට පදනම් වූයේ එකෙන් එකට ක්‍රමයෙන් විශාල වූ ඇට වර්ගය. අබ, තල, වී හා මදටිය මේවාට අයත් විය. ග්‍රේන්ස් හතරක් පමණ බරැති මදටිය ඇට වෙදවරුන් හා රන්කරුවන් අතර දැනුදු භාවිත වේ.
වෛද්‍ය උපකරණ
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ දියුණුවත් සමග ඊට සාපේක්‌ෂව දේශීය වෛද්‍ය උපකරණ ද නිපදවන්නට විය. ඉතා දියුණු මට්‌ටමින් නිපදවූ වෛද්‍ය උපකරණවලට අමතරව ඖෂධ සාදාගන්නා උපකරණ, ඇසුරුම් උපකරණ ආදිය නිසා එදා වෛද්‍ය වෘත්තියට එය මනා පිටිවහලක් වූ බව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කැණීම්වලින් මෙතෙක් සොයා ගන්නා ලද හොඳම බෙහෙත් ඔරුව පොළොන්නරුවෙන් ලැබුණු බව පිළිගත් විද්වත් මතයයි. මෙහිදී කැණීම්වලින් සොයා ගත් ද්‍රව්‍ය අතර ඇඹරුම් ගල්, තරාදි, කතුරු, ශල්‍ය වෛද්‍ය උපකරණ, බෙහෙත් කල් තබා ගැනීමට පි`ගන් මැටියෙන් තැනූ බරණි ආදී වෛද්‍ය උපකරණ රාශියක් විය.
ප්‍රතිකාර ක්‍රම
හෙළ වෙද සතර හෙවත් සිංහල වෛද්‍ය ශාස්‌ත්‍රය ලංකාවේම ප්‍රභවය වී විකාශය වූවකි. පෙර විසූ ජනතාව රෝග නිවාරණයට බොහෝ විට උපකාර කරගෙන ඇත්තේ ඇදහිලි හා වෛද්‍ය ක්‍රම මෙන්ම ගුප්ත ශාස්‌ත්‍රයන්ගෙන් යුතු භූත විද්‍යාවයි. එකකට එකක් වෙනස් මෙම වෛද්‍ය ක්‍රම අතර වන ඖෂධ මෙන්ම බලි පිදේනි දීමේ ක්‍රම ද පැවතුන බව ඒ පිළිබඳ විමසීමෙන් පෙනී යයි. ශ්‍රී ලංකාවේ ආදී වාසින් වන වැදි ජනතාව රෝග පීඩාවලින් මිදීමට ඖෂධ භාවිත කළ බවක් දක්‌නට නැත. රෝගයේ උපත භූත, යක්‌ෂ බලපෑම් මත සිදුවන්නේ යෑයි විශ්වාස කරන ඔවුන් පුද පූජා පැවැත්වීම හා මළගිය ඥාතීන් පිදීම හැරුණු කොට වාසස්‌ථානයෙන් පලා යාම සිදුකරයි.
ලක් ඉතිහාසය ආරම්භ වීමෙන් පසු අපට හමුවන ප්‍රථම දෝශ නිවාරණය හෙවත් දොස් නැතිකරවීමේ වෙදකම වශයෙන් හැඳින්විය හැක්‌කේ මනෝ මූලික ශාන්ති කර්මයකි. විජය රජුට වැළඳුන දිවි දොස් රෝගය සුව කිරීමට භාරතයෙන් ගෙනා වෙද ඇදුරන්ගේ ශාන්ති කර්මය (කොහොඹා කංකාරිය) මෙරට ප්‍රථම ප්‍රසිද්ධ වෙදකම විය. මෙලෙස ක්‍රමිකව විකාශය වී ආ අභිචාර ක්‍රම අද වන විටද ක්‍රියාත්මක වෙමින් පවතී. ළදරුවෙකු ඉපදුන පසු වදකහ වළල්ලක් අතෙහි පැලඳීම අභිචාර ක්‍රමයක් වුවත් එහි වෛද්‍ය විද්‍යාත්මක සත්‍ය නම් එම වදකහ වළල්ල සහිත අත ළදරුවා මුවට ගත් විට විෂබීජ සමනය වන බවයි. අප සාමාන්‍ය ජීවිතයේ ආහාර පිළියෙල කිරීමට යොදන කුළු බඩු පවා විෂ සමනයට යොදා ගත් ඒවාය.
පරිසරයේ ඇති ගස් වැල් ආදියෙහි ගුණ දොස් විචාරයෙන් තම ශරීර සුවය සඳහා සිය දැනුම යොදා ගත් අපේ පැරැන්නන් බෙහෙතකට තෙලකට ඔසු යොදා භාවිත කිරීමේදී නැකැත් හෝරාව, දිශාවන්, සුබ දිනයන් විමසීම සිරිතකි. තවද ඔසු පිළියම් කිරීමේදී තම කාර්යය අවසන් වන තුරු මුවින් වදනක් හෝ පිට නොවන ආකාරයට ක්‍රියා කරයි. නිරෝගීකම උතුම්ම ලාභයයි යනුවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ නිරෝගී කම පවත්වාගෙන යැමට වෙදකම මෙන්ම හෙදකම ද අවශ්‍ය බව දේශනා කළ සේක. මහින්දාගමනයත් සමග මෙරට ප්‍රධාන ආගම වූ බුද්ධ ධර්මය තුළ වෙදකමට සම ස්‌ථානයෙහිලා සැලකූ අතීත රජවරුන් වෛද්‍ය සේවාව දියුණු කරන්නට වෙහෙස වූවාක් මෙන්ම වෛද්‍ය ශාස්‌ත්‍රය ප්‍රගුණ කර රෝගීන් සුවපත් කරන්නට ද වූහ.
ස්‌වදේශීය වෙදකමට ඈත අතීතයක් තිබුණද අද එම වෙදකමෙහි වැඩි වශයෙන් ප්‍රචලිතව කෙරෙනුයේ සර්ප වෙද කම පමණකි. සර්ප වෙදරාල තමා වෙත පැමිණි දූතයාගේ ඉරියව් හා කතා බහෙන් ද, දවස, වෙලාව, නැකත, ජිති, චන්ද්‍ර කලාව අනුව රෝගියාගේ තත්ත්වයද, සර්පයාගේ විස්‌තර ද මනාව ප්‍රත්‍යක්‌ෂ කොට ගෙන විෂ දළ මන්තරයකින් වෙදකම ආරම්භ කරයි.
සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය හා සබැඳි සංස්‌කෘතිකාංග
සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය සෑම විටම ජ්‍යෙdතිෂය අනුව යමින් කටයුතු කරනු පෙනේ. පුරාණයේ වෙදකමක් පටන් ගැනීමේදී ජ්‍යෙdතිෂය අනුව ඒ ඒ වෙලාවල්වල දී සුබ නැකැත් හෝරා යටතේ ප්‍රතිකාර කිරීම ආරම්භ කරයි. රෝගයක් සුව වීමෙන් පසුව ද සුබ වේලාවක් හා සුභ දිනයක් යොදා රෝගියා පළමු වරට නෑවීම කරයි. අවසානයේ භාර වූ දෙවියන් හෝ දේවතාවන් වෙනුවෙන් පුද පූජා පැවැත් වේ.
දේශීය වෙදකමේ දී ත්‍රිදෝෂ වාදය මුල් තැනක් ගනී. වායුව, පිත, කප වශයෙන් හඳුන්වන මෙම ත්‍රිදෝෂ වාදය අසමතුලිත වීමෙන් පුද්ගලයා ශාරීරිකව මෙන්ම මානසිකවද රෝගී වන බව මෙම වෛද්‍ය ක්‍රමයේදී සැලකේ. ප්‍රතිකාර ක්‍රම මගින් මිනිසාගේ ශරීරයේ තිබෙන ගුණයන් සම තත්ත්වයකට පත් කරන අතර පංචභූතවාදයන් සමතුලිතතාවයකට පත් කිරීම සඳහා වත් පිළිවෙත්, පූජා විධි පැවැත්වීම් සිදු කරනු ලබයි. කතරගම ඇදහිල්ල, පත්තිනි ඇදහිල්ල, මහනුවර ඇසළ පෙරහැරේ දිය කැපීම, දේවාල තුළ ගිනි පෑගීම මේ සඳහා නිදසුන් කිහිපයකි. මෙම පිළිවෙත් තුළින් පංචභූතයන් පාලනය කිරීමට නැතහොත් සමනය කිරීමට උත්සාහ දැරීම සිදුවේ. මෙහිදී සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය ප්‍රතිකාර ක්‍රමයක් පමණක් නොව ගැඹුරු විශ්වාස පද්ධතියක් මත ගොඩනැගී පැවතෙන්නක් බවද අපට පෙනී යයි. මෙම පිළිවෙත් පූජා විධි පැරණි ලංකාවේ සංස්‌කෘතිය පෝෂණය කළ අංගයන් ලෙස පෙන්වා දිය හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, සී. ජී. ඌරාගොඩ, අපේ සංස්‌කෘතික උරුමය, ද්විතීය කාණ්‌ඩය, ප්‍රකාශනය මධ්‍යම සංස්‌කෘතික අරමුදල, 1998.
No comments:
Post a Comment