Tuesday, July 24, 2018

කොටි ලෙන 🐅 🐅

         කොටි ලෙන 🐅 🐅 



  හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වලස්මුල්ල වරාපිටිය ග්‍රාම සේවා වසමේ පිහිටි සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානය වලගම්බා රජ දවස ඉදි කරන ලද ඉපැරණි සිද්ධස්ථානයකි. පොදු මහත් ජනතාවගේ ආදරයට ලක් වූ මෙම පුද සුනෙහි මහානුභාව සම්පන්න ඉපැරණි දෙවොල් කිහිපයක් ද විය. දෙවියන්ගේ පිහිට පතන ජනී ජනයාගේ සිතුම් පැතුම් ඉටු කරවා දෙන බටහිර රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගේ අනසක පවතින මෙහි දෙවියන්ට බාර හාර වීම් පවා සිදු කරනු ලබයි. දෙවියන්ගේ පිහිට පතන ජනතවගේ සිතුම් පැතුම් ඉටු කර දෙන මහානුභාව සම්පන්න බටහිර රජ්ජුරුබණ්ඩාර දෙවියන් කෙරෙහි ගම්මු දැඩි විශ්වාසයක් දක්වයි.

මෙකී ප්‍රදේශයේ ජීවත් වූ සියදෝරිස් ඉතා දුක් මහන්සියෙන් තම ජීවන වියදම සොයා ගැනීමට පැගිරි තෙල් සදා විකිණීම සිදු කලේය. ඔහු පවුලේ දරුවන් සිව් දෙනා ද තම බිරිද ද රැක බලා ගත්තෙ මෙකී වෙළෙඳාමෙනි. එක් දිනක් සියදෝරිස් හට තම බිරිදගේ හදිසි අසනීපයක් හේතුවෙන් ග්‍රාමීය රෝහලට යාමට සිදු විය. ඒ වන විට රෑ බෝ වී තිබුනත් දරුවන් සිව් දෙනාගෙන් වැඩිමල් කොලුවාට දොර අගුලු ලා ගෙන සිටින්නට යැයි කියා දෙමහල්ලෝ රෝහල කරා පිටත් විය.

"නංගි අම්මලා එද්දි රෑ වෙයි අපි එතකන් නිදා ගමු "
"අම්මට ඉක්මනට හොද වෙයි නේද අයියණ්ඩි..."
"ඔව් ඔව් අපි නිදාගමු..."


මෙසේ කතා බහ කරන අතර දරුවන් නින්දට වැටුනේ ඔවුන්ට නොදැනුවත්වමය. මේ වෙලාවෙදි ගෙදරට කඩා වැදුනු මහතුන් සියදෝරිස්ගේ පැගිරි තෙල් ගබඩාවෙන් පැගිරි තෙල් ගැලුම් සොරා ගන්නට විය. මහතුන් ගමේ සිදු වූ සොරකම්වලට සම්බන්ධ වූ අතර ඔහු නිතර ගමෙහි රැදෙන්නේ ද නැත. ඔහු ගමෙන් පිටස්තරයෙකු ලෙස ජීවත් වෙයි. නමුත් ඔහුගේ බිරිද සහ දරුවන් අහිංසක මිනිසුන් ය. 

සියදෝරිස්  බිරිදගේ අසනීපයට බෙහෙත් රැගෙන නිවසට පැමිනෙන විට එලිය වැටී තිබුනි. නිවසට පැමිණි සියදෝරිස් පැගිරි තෙල් ගබඩාවට ගියේ තමාගේ සිතෙහි ඇති වූ කැළබිලි සහගත බවක් නිසයි. සියදෝරිස් සිතෙහි ඇති වූ සැකය නිවරදි බව දුටු විට ඔහුට කෑ ගැසුනේ ඉබේටම ය.

"මේ ඇහුනද ළමයින්ගෙ අම්මේ...
කව්ද මෙ නස්පැත්තිය කොරන්ට ඇත්තෙ..?"

තම සැමියාගේ කෑ ගැසීමට බිය වූ සිරියාවතී තම අසනීපය පසෙකලා දිව අවේ වෙව්ලමින් ය.
"අනේ මක් වෙලාද ඔහේ මේ මොර දෙන්නෙ..."
"බලපන්කො ළමයින්ගෙ අම්මේ මේ අපේ පැගිරි තෙල් ගැලුම් 10ක් ම නැති වෙලා. මං බේත් ගන්න කලින් ගැනල ගියේ. මට තිබ්බ තකහනියට ගබඩාවෙ දොර වහල ගිහින් නෑ නොවැ. "
"අනේ උඩ ඉන්න දෙවියනේ අපි දිහා බලන්න දෙවියනේ... සතා සිවුපාවෙකුටත් කරදරයක් කරන්නෙ නැති අපටම මේම කරන්නෙ ඇයි...."

"ලොකු පුතේ උබටවත් ඇහුනෙ නැද්ද ගබඩාවෙන් සද්දයක්වත්....."
"අනේ අප්පොච්චි අපිට නින්ද ගොහින්නෙ....."


සිරියාවතීගේ හා සියදෝරිස්ගේ අදෝනාව මුලු ගමටම ඇසුනි. ගම්මු කඩිමුඩියේ නිවස ලගට රොක් විය. 
සියදෝරිස්හට සිදු වූ අකරතැබ්බය ගැන ගම්මු දුක් විය. එසේම හොරකම කලේ කවුද යැයි සිතා ගන්නට කාහටත් නොහැකි විය.


සියදෝරිස් සහ සිරියාවතී යන දෙදෙනා තමන්ට වූ විපත්තිය ගැන සිත්තම්ගල්ලෙන රජමහා විහාරයේ බටහිර රජ්ජුරුබණ්ඩාර දෙවොලට ගොස් දෙවියන් ඉදිරියේ කියා පෑවේ ය.

"රජ්ජුරුබණ්ඩාර දෙවියනේ අපේ ජීවිතේ ගැට ගහ ගන්න අපි කොරන්නෙ මේ පැගිරි තෙල් වෙලදාම.අනේ දෙවියනේ අපි දුක් මහන්සියෙන් හදා ගත්ත පැගිරි තෙල් හොරකම් කරල දෙවියනෙ.......මගේ පැගිරි තෙල් හොරකම් කරපු එකාව පෙන්නුම් කරන්න දෙවියනේ..."


සියදෝරිස් දෙවියන් ඉදිරියේ තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කලේ හඩා වැලපෙමින්.
එදින හවස් යාමය වන විට මෙකී සිද්ධිය ගම පුරා පැතිරී ගියේය. මේ ඇසූ ගම් වැසියෝ ඉතා දුකට පත් විය.

"අර සියදෝරිස්ගෙ පැගිරි තෙල් ගැළුම් හොරකම් කරල කියන්නෙ ඇත්තද බොල…"
ගමේ කඩේ මුදලාලි ගම් වැසියෙක් වූ සුගතන්ගෙන් ඇසුවේය.
"ඔව් මුදලාලි උන්දැ දාඩිය මහන්සියෙන් කොරන රස්සාව නොවැ..."
"මේ රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගෙ අඩවිය ගමේ මොකා ඕක කරත් තව ටික දවසකින් කාට කාටත් දැනගන්න ලැබේවි..."
"ඒක නම් හැබෑව බන්"

ගමෙහි සෑම අස්සක් මුල්ලක් නෑරම මේ පැගිරි තෙල් සොරකම ගැන කතා කෙරුණි. සොරකම සිදු කල මහතුන්ට ද ආරංචිය කන වැකුණි. ඔහු බියෙන් තැති ගෙන සිටිය ද එය අනෙක් අයට කිසිවක් නොතේරෙන ලෙස සිටියේය. ඔහු ඒ වන විට පැගිරි තෙල් නගරයට ගොස් විකුණා හමාරය. 
එදින හවස් වන විට ගමේ තවත් කලබලයක් ඇති විය. ගමේ එක් නිවසක 
අවුරුදු 3ක් වයසැති කුඩා දියණියක් අතුරුදන් වීමේ සිදු වීමක් ගම පුරා පැතුරුණි. කිරිඑතනාගේ හා මහතුනගේ කුඩා දියණිය මෙසේ අතුරුදන් වී තිබුණි. කිරිඑතනා සහ මහතුන් බොහෝ සෙයින් කලබලයට පත් වු අතර අඩා වැලපෙන්නට විය.


"ලොකු දුවේ උබ නංගිව දැක්කයි.."
"නෑ අම්මේ මම් ඒකිව දැක්කෙ නෑ හුග වෙලාවකින් මම් හිතන්නෙ අම්මේ ඕකි කොහේටහරි වෙලා සෙල්ලම් කරනව ඇති."
"නෑ බං ඒකි හුග වෙලාවකින් දැක්කෙ නෑ
ඩිංගිත්තක් බලපං ඔය වත්ත පහලට ගොහිල්ල..."

කුසුමා වත්ත පහලට ගොස් තම නැගනිය සිටීදැයි සෙව්වද ඇයව සොයා ගැනීමට නොහැකි විය.
"අම්මේ ඒකි වත්ත පහලත නෑ නොවැ..?"
"අනේ දෙවියනේ මේකි කොහේ මකබෑ වුනාද? අනේ බලපන් කුසුමෝ තව ඩිංගක් මගේ පපුවත් රිදෙනව බං..."
"නෑ අම්මේ නෑ මං හැමතැනම හෙව්ව
බලපන්කො උබලගෙ අප්පච්චි පේන්න ඉන්නවද කියල..."

"අප්පොච්චි අප්පොච්චි"

"මේ ඇහුනයි අපේ පොඩි එකී පේන්නවත් නෑ නොවැ..."

මුලු ගමම කිරි එතනාගේ විලාපයෙන් තැති ගත්තාය. ගම්මු රොක් වී දැරිය සෙව්වද සොයාගන්නට නොහැකි විය. නමුත් ඔවුන්ගේ නිවස වටා බැද තිබූ ඉනි වැටේ ඉන්නක් ගැලවී තිබීම ගම්මුන්ගේ සැකයට හේතු විය.
"මහතුන් බලපන්කො මේ වැටේ ඉන්නක් ගැලවිලා ගිහින් තියන විදිය."
ගම් වැසියෙක් මහතුන්ට පැවසුවේය. මහතුන් තමා කල සොරකම සිතෙහි රදවාගෙන තම දැරිය සොයන්නට වූයේ බියෙනි.
මේ අතර සියදෝරිස් සහ සිරියාවතී තම දුක් ගැනවිල්ල නැවත නැවත දෙවියන්ට කියන්නට වූයේ ඇඩූ කදුලෙනි.

කිරි එතනාද දරු දුක වාව ගැනීමට නොහැකිව හඩා වැලපෙන්නට විය.

"අනේ බලපන්කො බං මගේ හීන් කෙල්ල හොයල දෙන්ඩකෝ... මට වෙන මොකුත් එපා කෙල්ල හොයල දෙන්ඩ... අනේ දෙවියනේ මේ ලෝකෙ දෙවියො වැඩ ඉන්නවනම් මගේ කෙලීව හොයල දෙන්න දෙවියනේ...."

කිරි එතනා සැනසීමට ගමෙ කාන්තාවන් කිහිප දෙනෙක් උත්සහ කරද එය අසාර්තක විය.
කිරි එතනා බලා ගත් අත බලා සිටින විට ඇය දුටුවේ කොටියෙකුගේ අඩි මිදුලේ ඇති ආකාරයයි. කොටියාගේ පා සලකුණු දුටු කිරිඑතනා ක්ලාන්ත වී බිම ඇද වැටුණි. 
නිවසට පැමිණ සිටි පිරිසද කොටියාගේ පා සලකුණු දැක බියෙන් තැති ගත්තේ දරුවා ගැන සිතමිනි.


"නැන්දේ මං දැක්ක සීය කෙනෙක් නංගි  වඩා ගෙන ඉන්නවා. "
අසල නිවසේ කුඩා දැරියක් එසේ පැවසුවද කිසිවෙකුට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය.
"අනේ හුරතල් කෙලි පැටික්කි... ඒකිට මොකද වුනේ..."

ගම් වැසියන් දුකට පත් විය.
කිරි එතනාට සිහිය ආ විගස ගමේ කිහිපදෙනෙක් මහතුන් ද කැටුව සිත්තම්ගල්ලෙන රජමහා විහාරයේ බටහිර රජ්ජුරුබණ්ඩාර දේවාලයට බාරයක් වීමට පිටත් විය. එහෙත් දෙවොල අසලදී බටහිර රජ්ජුරුබණ්ඩාර දෙවොලට අරග්ගත් නාගයා ඔවුන්ට දේවාලයට යාමට ඉඩ දුන්නේ නැත.


"ඇයි දෙයියනේ මේ නයා අපිට දේවාලෙට යන්න දෙන්නෙ නැත්තෙ."

කිරිඑතනා මහ හයියෙන් අඩන්නට විය. එයට හේතුව තම ස්වාමියා සිදු කල සොරකම බව ඇය දැන සිටියේ නැත.
මහතුන් ද තමා කල වරද සිතේ දරා ගෙන බියෙන් හඩා වැලපෙන්නට විය.
ඔවුන් නැවත නිවසට පැමිණ හොදින් නා කියා ගෙන පිරිසිදු වී සුදු ඇදුම් ඇද විහාරස්ථානයට ගොස් අම්පනාගල මේධාලංකාර හාමුදුරුවන්හට සිදු වී ඇති වින්නැහිය කියා හාමුදුරුවන් සමග දේවාලයට ගොස් අතුරුදන් වූ දරුවා වෙනුවෙන් භාර විය.
මහතුන් ඇතුලු පිරිස භාර හාර වී නැවත පැමිණෙමින් සිටියදී ගමේ එක් ඉසව්වකින් හූ හඩක් ඇසුනි.


"උබලට ඇහුනද ඒ හූ සද්දෙ...."
එවිටම තවත් හූ හඩක් ඇසුනි. සියල්ලෝම ඒ දෙසට දිව යන්නට විය.
"දෙවියො අපිට කෙලීව ඉන්න ඉසව්ව පෙන්නුම් කරලද දන්නෙ නෑ... "

ඔවුන් හූ හඩ ඇසුනු ඉසව්වට දිව ගියත් දරුවා ගැන ආරංචියක් ලැබුනේ නැත. ගම්මු දින 6 ක් පුරා දැරිය සෙව්වද කිසිම හෝඩුවාවක් ලැබුනේ නැත. හත වන දිනයද උදා විය. හිරු වෙනදාටත් කලින් පායා තිබුණි. පෙර දිනවල තිබූ පරිසරයේ තිබූ භියංකර බව පහව ගොස් තිබුණි. මෙදින ද කිරිඑතනා සහ මහතුන් ගම්වැසියන් සමග දැරිය සොයන්නට විය. සිදු වූයේ කව්රුත් නොසිතූ දෙයකි. නිවස ආසන්නයේ තිබූ ගල්ගුහාව අසල කොටියෙකුගේ පා සලකුණු දක්නට ලැබුණි. ගල්ගුහාව ඇතුලෙන් කොටියෙක්  ගොරවන හඩක් ඇසුනේ සියල්ලෝම භියෙන් තැති ගන්වමින් ය. 
කිරිඑතනා බියෙන් කෑ මොර දෙන්නට විය.


"අනේ මගේ කෙලි පැටික්කිට කරදරයක්වත් වෙලද? "

ඔවුන් ගල්ගුහාව දෙසට යාමේදී කොටියා ගොරවන හඩ ආයෙත් ඇසුනි. ගම්වැසියන් හා කිරි එතනා ද මහතුන් ද ගල්ගුහාව ඇතුලට ගියේ චකිතයෙනි. ගල් ගුහාව ඇතුලේ මුල්ලක් දුටු ඔවුන්ට අදහා ගැනීමට නොහැකි විය. 
කුඩා දැරිය ගුහාවේ මුල්ලක කොල අතුරා තබා තිබූ අතර දැරියට කිසි කරදරයක් වී තිබුනේ නැත.


"අනේ මගේ අසරණ කෙල්ල... උබව කවුද මෙහෙට උස්සගෙන  ආවෙ..."

කිරිඑතනා දරුවා සිප ගන්නට විය.
කිරිඑතනාගේ කෑ ගැසීම ඇසී එලියේ සිටි ගම්මුද ගුහාව ඇතුලට ගියේය. වරින් වර කොටියාගේ ගෙරවිලි ඇසුනත් කොටියෙක් පේන්න සිටියේ නැත.මෙය දෙවියන්ගේ දඩුවමක් බව මහතුන්ට සිතුනි. තමන් කල වරදට වන්දි ගෙවන්නට සිදු වූයේ අසරණ දරුවාටය. මහතුන්ට තමන් කල වැරැද්ද තවත් සිතේ දරා ගැනීමට නොහැකි විය.


"අනේ මට බොලාට කියන්න කාරණයක් තියනවා. උබල මේ දේ අහල මට ඕන දෙයක් කොරපල්ල... මමයි සියදෝරිස්ගෙ පැගිරි තෙල් ගැලුම් හොරකම් කරේ. මං කරපු වරදට වන්දි ගෙවන්න වුනේ මගේ අසරණ කෙල්ලට. සියදෝරිස් මට ඕන දඩුවමක් දෙන්න. අනේ මං කරපු වැරැද්දට සමා වෙන්න. මං කෝම හරි පැගිරි තෙල් ගැලුම්වල සල්ලි ගෙවන්නම්"

සියදෝරිස් දෙවියන්ගෙන් ඉල්ලූ පරිදි දෙවියන් සොරා පෙන්නුම් කරන ලදී. කිරිඑතනාට හා ගම් වැසියන්ට සිදු වූ දේ කුමක්දැයි වැටහුණි.
මහතුන් කල වරදට දින හයක් ගුහාවක් තුල දුක් විදින්නට සිදු වූයේ අහිංසක දැරියටයි.
පන්සලේ ස්වාමීන්වහන්සේ මහතුන්ට සොරකමේ ආදීනව වටහා දී මින් මතුවට එසේ නොකරන් ලෙසත් සියදෝරිස්ට සිදුකල පාඩුව ගෙවන ලෙසත් අවවාද කලේ  ගමේ හැමෝටම මෙය හොද පාඩමක් ලෙස පෙන්වා දෙමිනි.
දරුවා සිටි ලෙන අදත් කොටි ලෙන ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත්ව ඇත.


2 comments:

සිංහල සාහිත්‍යයේ නිරූපිත හෙළ වෙදකම හා බුදු දහම   දේශීය වෙදකමෙහි ආරම්භය පිළිබදව නිශ්චිත දින වකවානු දැක්විමට අපොහොසත් වුවත් ජනප්‍රවාද හා ...